අරමුදල් කළමනාකරණය

සේ.අ.අ පනතේ සඳහන් අරමුණු සඳහා කඩිනමින් අවශ්‍ය නොවන අරමුදල්, සුදුසු යැයි සලකන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම සඳහා සේ.අ.අ පනතේ 5 (1) ඉ. වගන්තිය අනුව, ශ්‍රී. ල. ම. බැ. වෙත ඉඩ ලබාදී ඇත. ඒ අනුව එම අරමුදල්, ශ්‍රී. ල. ම. බැ. සුදුසු යැයි සලකන විවිධ සුරැකුම්පත්වල ආයෝජනය කළ හැකි අතර මෙම සුරැකුම්පත් විකිණීමට ද අවසර ඇත. අරමුදල් ආයෝජනය කිරීමෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන්නේ අරමුදලෙහි ආරක්ෂාව සහතික කිරීම සහ අවදානමට සරිලන ලෙස ගලපන ලද සාධාරණ ප්‍රතිලාභයක් ලබා ගැනීමයි. එහිදී අරමුදල් කළමනාකරණය, සාමාජිකයින්හට උපරිම විශ්‍රාම ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින්, විචක්ෂණශීලී සහ නව්‍ය ක්‍රියාවලියක් හරහා සිදු කරනු ලබයි.

අරමුදල් කළමනාකරණය

අරමුදල සතු සමස්ත ආයෝජන කළඹෙහි වටිනාකම (පොත් අගය) 2024 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 4,393.8 ට සාපේක්ෂව 2025 වසර අවසානයේදී රුපියල් බිලියන 4,965.2 ක් දක්වා සියයට 13 කින් වර්ධනය විය. 2025 අවසානය වන විට ආයෝජන කළඹෙන් සියයට 94.5 ක් රජයේ සුරැකුම්පත් වලින්ද, සියයට 4.3 ක් කොටස් ආයෝජන වලින්ද, සියයට 0.6 ක් සාංගමික ණයකර වලින්ද, ඉතිරි සියයට 0.6 ප්‍රති විකුණුම් ගිවිසුම් වලින්ද සමන්විත විය (සංඛ්‍යා සටහන 1).

සංඛ්‍යා සටහන 1: ආයෝජන කළඹ
ආයෝජන වර්ගය 2025 2024
වටිනාකම (රු.බි.) දායකත්වය (%) වටිනාකම (රු.බි.) දායකත්වය (%)
භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් 4,693.0 94.5 4,153.3 94.5
සමාගම් කොටස් 214.1 4.3 193.4 4.4
සාංගමික ණය උපකරණ 29.3 0.6 12.9 0.3
ප්‍රති විකුණුම් ‍ගිවිසුම් 28.8 0.6 34.2 0.8
එකතුව 4,965.2 100.0 4,393.8 100.0

2025 වසරේදී අරමුදලෙහි මුළු ආයෝජන ආදායම රුපියල් බිලියන 552.7 ක් විය (සංඛ්‍යා සටහන 2). පොලී ආදායම අරමුදලෙහි ප්‍රධාන ආදායම් ප්‍රභවය වූ අතර, එය  2024 වසරේදී වාර්තා වූ රුපියල් බිලියන 455.1  සිට 2025 වසරේදී රුපියල් බිලියන 506.9 ක් දක්වා සියයට 11.4 කින් වර්ධනය විය. සාධාරණ අගයට ඇති මූල්‍ය උපකරණ මත ශුද්ධ ලාභය තුල ලැයිස්තුගත කොටස් සහ ලැයිස්තුගත නොකළ කොටස්වලින් ලද ලාභ/ අලාභ ඇතුලත් වේ. කොළඹ කොටස් වෙළඳපොලෙහි  හිතකර මිල චලනයන් ලැයිස්තුගත කොටස් වලින් රුපියල් බිලියන 54 ක සාධාරණ අගය  මත ලාභයක් ලබාදෙන ලදී . මීට අමතරව, කොටස් ආයෝජන කළඹෙන් ලබාගත් ලාභාංශ ආදායම 2024 වසරේදී  බිලියන 5.5 ක් වූ අතර, එය 2025 දී රුපියල් බිලියන 6.6 දක්වා වර්ධනය විය.

සංඛ්‍යා සටහන 2: ආයෝජන මගින් ලද ආදායම්
ආදායම් මූලාශ්‍රය 2025 2024
වටිනාකම (රු.මි.) දායකත්වය (%) වටිනාකම (රු.මි.) දායකත්වය (%)
පොළී ආදායම 506,954.2 91.7 455,126.0 88.6
සාධාරණ අගයට ඇති මූල්‍ය
උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය)
39,133.9 7.1 53,488.4 10.4
ලාභාංශ ආදායම 6,589.0 1.2 5,481.1 1.1
මූල්‍ය වත්කම් හානිකරණය (0.8) (0.0) (313.7) (0.1)
එකතුව 552,676.4 100.0 513,781.7 100.0

සේ.අ.අ. හි ආයෝජන කළඹෙන් බහුතරයක් භාණ්ඩාගාර බැඳුම්කර වලින් සමන්විත වේ. භාණ්ඩාගාර බැඳුම්කර කළඹෙන් සියයට 75 කට වඩා වැඩි ප්‍රමාණයක් වසර 5 ක් හෝ ඊට වැඩි පරිනත කාල සහිතව ආයෝජනය කර ඇති අතර, එහි බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය සියයට 10.66 කි. කල්පිරීමට ඇති කාලය අනුව භාණ්ඩාගාර බැඳුම්කර කළඹෙහි සංයුතිය සහ ඵලදා අනුපාතිකය සංඛ්‍යා සටහන 3 මඟින් දක්වා ඇත.

සංඛ්‍යා සටහන 3: භාණ්ඩාගාර බැඳුම්කර කඹේ කල්පිරීමේ ව්‍යූහය
කල්පිරීම මුහුණත වටිනාකම(රු.මි.) දායකත්වය(%) බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය (%)
වසරකට වඩා අඩු 125,455.29 2.6% 11.38%
වසර 1-2 254,942.68 5.3% 10.02%
වසර 3-4 825,337.35 17.1% 11.82%
වසර 5 ට වැඩි 3,628,782.29 75.1% 10.66%
එකතුව 4,834,517.61 100.0% 10.84%
අරමුදලෙහි සමස්ත ප්‍රතිලාභය

2025 වසරේදී අරමුදලෙහි සමස්ත දළ ආදායම රුපියල් බිලියන 553.3 ක් වූ අතර (සංඛ්‍යා සටහන 4). මෙහෙයුම් වියදම් සහ බදු සඳහා වෙන් කිරීම්  අඩු කළ පසු 2025 වසරෙහි ශුද්ධ ලාභය රුපියල් බිලියන 480.3 ක් විය. 2025 වසරේදී අරමුදලෙහි සාමාන්‍ය ආයෝජන මත සියයට 11.81  ක ප්‍රතිලාභක් අත්කර ගැනීමට  සේ.අ.අ.ට හැකිවූ අතර, දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය සියයට 0.62 ක් ලෙස පවත්වා ගෙන යාමට හැකි විය.

2018 අප්‍රේල් මස පළමු වන දින සිට, 2017 අංක 24 දරණ නව දේශීය ආදායම් පනතේ අවශ්‍යතාවයන්ට අනුකූලව, අරමුදල සඳහා අදාළ වන ආදායම් බදු අනුපාතය සියයට 14 කි. ලැබුණු ලාභාංශ සඳහා අදාළ වන ආදායම් බදු අනුපාතය සියයට 15 කි.  2024 වසරේදී මිලියන 64,137.1 ක්ව පැවති බදු වියදම 2025 වසරේදී රුපියල් මිලියන 69,511.2 දක්වා  සියයට 8.4  කින් ඉහළ ගියේය.

ඒ අනුව, සේ.අ.අ. විසින් 2025 වසර අවසානයේ දී පැවැති සාමාජික ශේෂයන් මත සියයට 10.75 ක පොලී අනුපාතයක් ප්‍රකාශයට පත් කරන ලදී.

සේ.අ.අ. හි වසර පහක කාර්යසාධනය පිළිබඳ සාරාංශයක් 4 වන සංඛ්‍යා සටහන මඟින් දක්වා ඇත.

සංඛ්‍යා සටහන 4 – සේවක අර්ථසාධක අරමුදලෙහි කාර්යසාධනය පිළිබඳ වසර පහක සාරාංශය
අයිතමය රුපියල් මිලියන
2021 2022 2023 2024 2025
පොලී ආදායම 293,678 349,269 442,419 455,126 506,954
ලාභාංශ ආදායම 6,685 7,528 2,997 5,481 6,589
සාධාරණ අගයට ඇති මූල්‍ය උපකරණ මත ශුද්ධ ලාභය/(අලාභය) 41,840 (40,996) 35,683 53,488 39,134
මූල්‍ය වත්කම් හානිකරණය (1) (4) 4 (314) (1)
ආයෝජන ආදායම 342,203 315,797 481,103 513,782 552,676
වෙනත් ආදායම් 172 270 241 326 610
සමස්ත දළ ආදායම 342,375 316,068 481,344 514,108 553,286
මෙහෙයුම් වියදම් (1,646) (2,134) (2,305) (3,045) (3,466)
ආදායම් බදු (41,657) (49,982) (63,134) (64,137) (69,511)
වර්ෂය සඳහා ලාභය 299,071 263,953 415,906 446,926 480,310
ඉපැයුම් අනුපාතිකය (%) 11.4 9.5 13.0 12.4 11.8
ප්‍රකාශයට පත්කරන ලද පොලී අනුපාතිකය (%) 9.0 9.0 13.0 11.0 10.75
සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණය සඳහා පාලන රාමුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස සේ. අ. අ. හි අවදානම් කළමනාකරණය අධීක්ෂණය කරනු ලබයි.ඒ අනුව, සේ. අ. අ. හි අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් පාලන ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ද සැලකෙන අතර සේ. අ. අ. හි ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ක්‍රියාකාරකම්වලට අදාළ මූල්‍ය හා මූල්‍ය නොවන අවදානම් කෙරෙහි අවධානය යොමු කරයි. සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරකම්වල අවසාන තීරණ ගැනීමේ අධිකාරිය මුදල් මණ්ඩලය වෙයි. එමඟින්, අරමුදලෙහි ආයෝජන කටයුතු සඳහා ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් සපයන අතර අරමුදල කළමනාකරණය කළ යුතු අවදානම් අභිරුචිය සහ අවදානම් දැරිය හැකි මට්ටම් වැනි සමස්ත අවදානම් පරාමිතීන් නියම කරනු ලබයි.තවද, සේ. අ. අ. හි  අවදානම් කළමනාකරණ ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව (BROC) සහ සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුව (EIOC) යන ඉහළ මට්ටමේ කමිටු දෙකක් හරහා මුදල් මණ්ඩලය විසින් අදාළ කටයුතු කළමනාකරණය කරනු ලැබේ.

අවදානම් කළමනාකරණ කාර්යය අධීක්ෂණය කිරීමේ වගකීම මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුව (BROC) සතු වන අතර අරමුදල් කළමනාකරණ කටයුතුවලට අදාළ ඉහළම මට්ටමේ අධීක්ෂණ කටයුතු සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුව (EIOC) මඟින් සිදු කරනු ලබයි. සේ. අ. අ. ආයෝජන අධීක්ෂණ කමිටුවෙහි (EIOC) කාර්යභාරය වන්නේ අරමුදල කළමනාකරණය සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය මග පෙන්වීමක් ලබා දීමෙන් සේ. අ. අ. හි ආයෝජන කටයුතු අධීක්ෂණය කිරීමයි.තවද, සේ. අ. අරමුදල්  කළමනාකරණ කටයුතුවල එදිනෙදා ආයෝජන තීරණ ගැනීමේ කාර්යයට අදාළ බලතල දෙපාර්තමේන්තු මට්ටමේ කමිටුවක් වන සේ. අ. අ. ආයෝජන කමිටුවට (EIC) පවරා ඇත. සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ අංශයේ මැදි කාර්යාලය, ප්‍රථම පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස දෛනික මෙහෙයුම් වල අවදානම අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබයි. ඒ අනුව, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS), උපායමාර්ගික වත්කම් විභජනයන් (SAA) සහ ආයෝජන මාර්ගෝපදේශයන්හි (IG)  දී ඇති පරාමිතීන්ට අනුකූලව ආයෝජන කටයුතුවල පූර්ව හා පසු අනුකූලතාවයන් අධීක්ෂණය කරනු ලැබේ. අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව දෙවන පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස ක්‍රියා කරන අතර ස්වාධීන ක්‍රියාවලියක් තුළින් සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරකම් හා සම්බන්ධ අවදානම් තක්සේරු කිරීම, අධීක්ෂණය කිරීම සහ වාර්තා කිරීම හරහා ආයෝජන පාලන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සැපයීමේ වගකීම දරයි.ඒ අනුව, යාවත්කාලීන කළ වෙළඳපල අවශ්‍යතාවන්ට අනුකූලව ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS), උපායමාර්ගික වත්කම් විභජනයන් (SAA) සහ ආයෝජන මාර්ගෝපදේශයන්හි (IG) සංශෝධනය කිරීම සහ යාවත්කාලීන කිරීම තුළින්, අදාළ ප්‍රතිපත්තිමය උපදෙස් සහ ආයෝජන ක්‍රියාකාරකම්වලට අදාළ මාර්ගෝපදේශ සැපයීම අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ. එමඟින්, පවත්නා වැඩ පටිපාටි වැඩිදියුණු කිරීම සහ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලනයන් පවත්වා ගනිමින් ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලියට වැඩි ස්වාධීනත්වයක් ලැබේ. තෙවන පෙළ ආරක්ෂණ යාන්ත්‍රණය ලෙස අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සේ. අ. අ. හි අරමුදල් කළමනාකරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අවදානම් සහතිකයක් සපයනු ලබයි.

තවද, සමස්ත සේ. අ. අ. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම්වලට අදාළ මූල්‍යමය නොවන අවදානම් තීව්‍ර කිරීම සහ විසඳීම සඳහා  මූල්‍ය නොවන අවදානම් කළමනාකරණ කමිටුව (NFRMC) ලෙස වෙනම කමිටුවක් හරහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, මූල්‍යමය නොවන අවදානම් හඳුනා ගැනීම සහ සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වරින් වර සමාලෝචනයන් පවත්වනු ලැබේ.